මැදපෙරදිග කලාපය තුළ වර්ධනය වෙමින් පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ ආරක්ෂක උපදෙස් මාලාවක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇත.
මාධ්‍ය සහ ඇතැම් කණ්ඩායම් විසින් පතුරුවන වැරදි තොරතුරු හේතුවෙන් අනවශ්‍ය බියට පත් නොවන ලෙස තානාපති කාර්යාලය අවධාරණය කර, ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවතින ඕනෑම තත්ත්වයක් පාලනය කිරීමට සූදානම් බවද දැනුම් දෙයි.
2025 ජුනි මාසයේදී එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත් නොවීමට හේතුව වූයේ, හදිසි සයිරන් නාදයන්ට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂිත ස්ථානවලට රැකවරණය ලබා ගැනීම බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
මේ අනුව ශ්‍රී ලාංකිකයින්ට ලබා දී ඇති ප්‍රධාන උපදෙස් පහත පරිදී වේ.
ඊශ්‍රායල මාධ්‍ය සහ ආරක්ෂක අංශවල නිවේදන පිළිබඳ විමසිලිමත් වන්න.
නිතර බෙහෙත් භාවිතා කරන පිරිස් එම බෙහෙත් ආසන්නයේ තබා ගන්න.
විදුලිය හෝ අන්තර්ජාලය අක්‍රීය වුවහොත් ශ්‍රී ලංකාවේ සිටින පිරිස අනවශ්‍ය ලෙස කලබල නොකරන්න.
විවෘත ස්ථානවල සේවය කරන පිරිස් අනතුරු ඇඟවීමක් ලැබුණහොත් ආසන්නම ආරක්ෂිත ස්ථානය වෙත යන්න.
වාහනයක ගමන් කරන විට හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් වාහනයෙන් බැස ආවරණයක් වෙත ගමන් කරන්න.
ඉදිරි දිනවල ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කරන පිරිස් පවතින තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින්න.
තෛපොංගල් දිනය සහ ඊශ්‍රායලයේ සතිඅන්ත නිවාඩු හේතුවෙන් තානාපති කාර්යාලය වසා තිබුණ ද, අනපේක්ෂිත හදිසි තත්ත්වයන් සඳහා හදිසි සේවා ලබා දීමට සූදානම් බව ද තානාපති කාර්යාලය සඳහන් කරයි.
මේ අතර, ඉන්දියාව සහ ඇමරිකාව ඇතුළු රටවල් විසින්ද මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක අවදානම් හේතුවෙන් තම පුරවැසියන්ට විශේෂ උපදෙස් නිකුත් කර ඇති බව වාර්තා වේ
