“දැන්ම ඉරානයෙන් යන්න” – ඇමරිකානුවන්ට හදිසි දැනුම්දීමක්

ඉරානයේ පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එරට සිටින ඇමරිකානු වැසියන් වහාම ඉරානයෙන් ඉවත් විය යුතු බවට ඉරානයේ පිහිටි අතථ්‍ය (Virtual) ඇමරිකානු තානාපති කාර්යාලය හදිසි ආරක්ෂක දැනුම්දීමක් නිකුත් කර තිබේ.

එම දැනුම්දීමේ සඳහන් වන්නේ, ඉරානය පුරා පවතින විරෝධතා උද්ඝෝෂණ සහ නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් ප්‍රචණ්ඩකාරී වීමට ඉඩ ඇති අතර, ඒ හේතුවෙන් පුද්ගලයන් අත්අඩංගුවට පත්වීම සහ තුවාල ලැබීමේ අවදානම ඉහළ බවයි.

ඒ අනුව, ආරක්ෂිත නම් තුර්කිය හෝ ආර්මේනියාව හරහා ගොඩබිම් මාර්ගයෙන් ඉවත් වීමට සලකා බැලිය යුතු බව ඇමරිකානු වැසියන්ට උපදෙස් දී තිබේ.

“දැන්ම ඉරානයෙන් යන්න” – ඇමරිකානුවන්ට හදිසි දැනුම්දීමක්

දැනටමත් ඉරානය තුළ දැඩි ආරක්ෂක පියවර ක්‍රියාත්මක වන අතර, මාර්ග වසා දැමීම්, පොදු ප්‍රවාහන සීමා කිරීම් සහ අන්තර්ජාල විසන්ධි කිරීම් සිදුවෙමින් පවතින බවද එහි සඳහන්.

ඉරාන රජය විසින් ජංගම, ස්ථාවර සහ ජාතික අන්තර්ජාල පද්ධති වෙත ප්‍රවේශය සීමා කර ඇති අතර, ගුවන් සමාගම් විසින් ඉරානය වෙත සහ ඉරානයෙන් පිටතට යන ගුවන් ගමන් සීමා කර හෝ නතර කර ඇති බව ද වාර්තා වේ.

ඉවත් වීමට නොහැකි පුද්ගලයන්ට ආහාර, ජලය සහ ඖෂධ සමුච්චය කරගෙන ආරක්ෂිත ගොඩනැගිල්ලක රැඳී සිටින ලෙසත්, විරෝධතා වලින් ඈත්ව සිටින ලෙසත් දැනුම් දී ඇත.

එමෙන්ම, ඇමරිකානු-ඉරාන ද්විත්ව පුරවැසියන් ඉරානයෙන් පිටවිය යුත්තේ ඉරාන විදේශ ගමන් බලපත්‍රය භාවිතා කරමින් බවත්, ඉරානය ද්විත්ව පුරවැසිභාවය පිළි නොගන්නා බවත් අවධාරණය කර තිබේ.

ඇමරිකාව සමඟ සම්බන්ධතා පෙන්වීමක් පමණක්වත් ඉරාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් හේතුවක් විය හැකි බව එම ආරක්ෂක අනතුරු ඇඟවීමේ වැඩිදුරටත් සඳහන්.

Previous Post Next Post