මන්නාරම් බොක්කේ පැවති අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙයි

මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම පද්ධතිය හේතුවෙන් දිවයිනට බලපාන කාලගුණික බලපෑම් දැනට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි.

මන්නාරම් බොක්කේ පැවති අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙයි

කෙසේ වෙතත්, එහි ඉතිරි බලපෑම් හේතුවෙන් උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරෙන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව දැනුම් දෙයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, කොළඹ සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතු සඳහා නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම ඉවත් කර ඇති බව ද සඳහන් වේ.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර සිට ඊසාන දිශාවෙන් හමා එන අතර, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30–40 අතර වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත්, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50–55 දක්වා ඉහළ යා හැකි බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.

Previous Post Next Post