12 ශ්‍රේණිය සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අද (11)

උසස් පෙළ 12 ශ්‍රේණිය සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය අද (11) දින පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළාය.

2025 වසරේ 12 ශ්‍රේණිය වෙනුවෙන් මෙම විභාගය පසුගිය දෙසැම්බර් 06 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් එය කල් දැමීමට සිදු වූ බවද ඇය සඳහන් කළාය. ඒ අනුව, අද දිනයේ එම විභාගය පැවැත්වේ.

අද දින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 1665කදී පැවැත්වෙන මෙම සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට සිසුන් එක් ලක්ෂ අනූඅට දහස් තුන්සිය තුන් දෙනෙකු (198,303) පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල්වරිය ප්‍රකාශ කළාය.

12 ශ්‍රේණිය සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අද (11)


මීට අමතරව, හදිසි ආපදා තත්ත්වයන් සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් කල් දැමුණු උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 10ක් හෙට (12) සිට නැවත පැවැත්වීමට නියමිත බව ද ඇය සඳහන් කළාය.

ඒ අනුව, උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් සඳහා වන විභාග ජනවාරි 12 වැනිදා සිට 20 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2086කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසුවාය.

එමෙන්ම, යම් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා මුහුණ දීමට අදාල සියලුම අංශ දැනුවත් කර ඇති අතර, ඔවුන් සම්පූර්ණ සූදානමකින් සිටින බවද ඇය අවධාරණය කළාය.

Previous Post Next Post