ඉරානයේ උත්තරීතර නායකයා පළවා හැරීමේ විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගනී

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා දින ගණනාවක් පුරා පැවති විරෝධතා මේ වනවිට දැඩි ප්‍රචණ්ඩ ස්වභාවයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් වාර්තා අනුව, අඛණ්ඩව 12 වන දිනටත් ක්‍රියාත්මක මෙම විරෝධතා ඉරානයේ පළාත් 31 පුරා නගර 100කට වැඩි ප්‍රමාණයකට පැතිරී ඇත.

වසර ගණනාවකට පසු ඉරාන ජනතාව මෙලෙස ඔවුන්ගේ උත්තරීතර නායකයාට එරෙහිව විශාල ලෙස නැගී සිටින බවද සඳහන්.

මෙම විරෝධතා දිවංගත හිටපු ෂා රජුගේ පුත්‍රයා වන රේසා පහ්ලවි නැවත බලයට රැගෙන ඒම අරමුණු කරගෙන ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ඉරානයේ උත්තරීතර නායකයා පළවා හැරීමේ විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගනී

ඊයේ (08) සවස ටෙහෙරාන් අගනුවර සහ මෂාඩ් නගරය ආශ්‍රිතව දැවැන්ත විරෝධතා පැවැත්වූ අතර, ඒවා ආරක්ෂක හමුදා විසින් දැඩි ලෙස පාලනය කිරීමට උත්සාහ ගෙන ඇත.

විරෝධතා පාලනය කිරීම සඳහා රට පුරා අන්තර්ජාල සේවාව තාවකාලිකව විසන්ධි කර ඇති බවද වාර්තා වේ. ඉරාන මුදල් ඒකකයේ බිඳවැටීම ඇතුළු ආර්ථික අර්බුද රැසක් මෙම නොසන්සුන්තාවයට මූලික වී ඇත.

අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරී ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) අනුව, මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එයින් ළමුන් 5 දෙනෙකු ද අයත් වේ.

එමෙන්ම විරෝධතාකරුවන් 2,270 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.

කෙසේවෙතත්, නෝර්වේ පදනම් කරගත් ඉරාන මානව හිමිකම් නිරීක්ෂකයෙකු (IHR) පවසන්නේ,

ආරක්ෂක හමුදා විසින් ළමුන් 8 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 45 දෙනෙකු ඝාතනය කර ඇති බවයි.

Previous Post Next Post