6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ අවුල්සහගත පිටුව ඉවත් කර ඉතිරිය බෙදාහැරීමට යෝජනාවක්

ආන්දෝලනයට තුඩුදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂය සඳහා වූ ඉගෙනුම් මොඩියුලය මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 61කට ආසන්න මුදලක් වැය වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කරයි.

එම මොඩියුලය සම්පූර් ණයෙන්ම යළි මුද්‍රණය කිරීම වෙනුවට, වියදම අවම කර ගත හැකි විකල්ප ක්‍රියාමාර් ග සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමු කර ඇති බව අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ප්‍රශ්නගත කරුණු අඩංගු අදාළ පිටුව ඉවත් කර, ඉතිරි මොඩියුල කොටස් සිසුන්ට බෙදාහැරීම එක් විකල්පයක් ලෙස සලකා බලමින් සිටින බවද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ අවුල්සහගත පිටුව ඉවත් කර ඉතිරිය බෙදාහැරීමට යෝජනාවක්

මේ අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට පාසල් පවත්වන වේලාව මිනිත්තු 30කින් දීර්ඝ කිරීමට තිබූ යෝජනාව ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය අද (02) නිවේදනය කළේය.

රට තුළ උද්ගතව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පළාත් කිහිපයක පාසල් හා ප්‍රවාහන පද්ධතිවලට සිදුව ඇති හානි සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව වාර් තා වෙයි.

ඒ අනුව 2026 වසරේදීද 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් පවත්වන කාලය පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 දක්වා නොවෙනස්ව පවතිනු ඇත.

2026 පළමු වාරය සඳහා රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් ජනවාරි 05 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 2026 වසරේදී 1 ශ්‍රේණියට සහ 6 ශ්‍රේණියට මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, 6 ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු ජනවාරි 21 වැනිදා විධිමත් ලෙස ආරම්භ කෙරේ.

පළමු ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනාගැනීම ජනවාරි 05 වැනිදා ආරම්භ වන අතර, විධිමත් අධ්‍යාපන කටයුතු ජනවාරි 29 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අතරමඟ නවතා දමා තිබූ 2025 උසස් පෙළ විභාගයේ ඉතිරි අදියර, මෙම වසරේ ජනවාරි 12 සිට 20 දක්වා පැවැත්වීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Previous Post Next Post