මුල්ලේරියාව හිටපු උප සභාපති ඝාතන සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට

කොටිකාවත්ත–මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය පවසයි.

මෙම ඝාතන සිද්ධිය 2022 අගෝස්තු මස 02 වන දින, මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයට අයත් මුල්ලේරියාව රෝහල ආසන්නයේදී සිදුව ඇති බව වාර්තා වේ.

මුල්ලේරියාව හිටපු උප සභාපති ඝාතන සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට

ලැබුණු බුද්ධි තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී, ඝාතනය සිදුකළ අවස්ථාවේ සැකකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීම මාලඹේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේදී සිදුකර ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 430ක් සහ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් තිබී සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට පත්ව ඇති සැකකරු වයස අවුරුදු 32ක් වන තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැඩිදුර පරීක්ෂණවලදී, මෙම සැකකරුට කොළඹ මහාධිකරණයේ විභාග වන නඩු දෙකක් සඳහා විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවද අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Previous Post Next Post