බූස්ස බන්ධනාගාරයෙන් හෙළි වූ හෙවනැල්ල – පොළොව යට සඟවා තිබූ ජංගම දුරකථන

දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළින්, මෙම වසර තුළදී ජංගම දුරකථන 100කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇති බව පොලිස් විශේෂ කාර්‍ය බලකාය පවසයි.

පසුගිය දින කිහිපය තුළ ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සිරමැදිරිවල පොළොව යට වළදමා සඟවා තිබූ ජංගම දුරකථන, චාජර් සහ ඩේටා කේබල් සොයාගැනීම විශේෂත්වයකි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පෙන්වා දුන්නේ, බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ඇතැම් ප්‍රබල අපරාධකරුවන්, බන්ධනාගාරය තුළ සිටියද ජංගම දුරකථන භාවිත කරමින් අපරාධ මෙහෙයවීම දිගින් දිගමට සිදුකරන බවය.

මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කළද, මෙතෙක් එය සම්පූර්ණයෙන් පාලනය කිරීමට අපොහොසත් වී ඇති බවද ඔහු සඳහන් කළේය.

බූස්ස බන්ධනාගාරයෙන් හෙළි වූ හෙවනැල්ල – පොළොව යට සඟවා තිබූ ජංගම දුරකථන
මෙම මෙහෙයුම් අතරතුර, දකුණේ අපරාධ මෙහෙයවූ බවට සැක කෙරෙන ලොකු පැටී, මිදිගම රුවන් සහ මරණ දඬුවම නියමව සිටින දෙමටගොඩ චමින්ද යන ප්‍රබල අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරි තුළින් ද ජංගම දුරකථන සොයාගෙන ඇත.

එමෙන්ම, ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු ලෙස හඳුනාගෙන ඇති සමිදු දිල්ෂාන් නමැත්තාගේ සිරමැදිරියේ තිබී ද ජංගම දුරකථනයක් හමු වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

අමිල හිරුෂ්ලාල් හෙවත් “කුරුල්ලා” නමින් හැඳින්වෙන අපරාධකරු රඳවා සිටින සිරමැදිරියේ, අඩි එකහමාරක පමණ ගැඹුරකින් වළක් කපා, එහි ස්මාර් ට් වර් ගයේ ජංගම දුරකථනයක්, චාජරයක් සහ ඩේටා කේබල් එකක් සඟවා තිබියදී සොයාගෙන ඇත.

ඒ සමඟම, විශේෂ අංශ කටයුතු සඳහා යොදවා ඇති පාටි සිරකරුවන් රඳවා සිටින සිරමැදිරියක පොළොව යට සඟවා තිබූ චාජර් සහ ඩේටා කේබල් ද හමු වී තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රඳවා සිටින නවුෆර් මවුලවි නමැත්තාගේ සිරමැදිරියේ තිබී වයර් කැබලි දෙකක් ද සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්‍ය බලකාය පැවසුවේ, දින 84ක කාලයක් තුළ සිදු කළ මෙහෙයුම්වලදී ජංගම දුරකථන සමඟ සිම් කාඩ් 159ක්, චාජර් 110ක් සහ අන්තර් ජාල පහසුකම් ලබාගැනීමට භාවිතා කරන රවුටර් ද සොයාගෙන ඇති බවය.

මෙම ජංගම දුරකථන සහ උපකරණ බන්ධනාගාරයට ඇතුළත් වීමට දූෂිත නිලධාරීන් සම්බන්ධ වී ඇති බවට සැක පළ කෙරෙන බව ද, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බව ද පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

Previous Post Next Post